ටිකක් හිනා වෙමු………..!

 

අද පුංචි කතාන්දරයක්…….ම්………..කතාන්දරයක්මත් නෙවෙයි……… ලොකු ජොලියක් තියන පුංචි කතාවක්…ඇත්තටම කිව්වොත් බොරුවක් කීම තමයි හරි….ඒ මොකක්ද බොලේ ඇත්තටම බොරුව…..ඈ……….කට්ටිය බය වෙලා බලං ඇති නේද? ඔන්න එකෝමත් එක රටක……… පුරුද්දට එහෙම කිව්වට රට මේ ලංකාද්වීපයම තමා….ගමත් මමත් දන්න කියන එකක්..පුද්ගලයාත් දන්න කියන කෙනෙක්.. ඒක කියන එක හරිනෑනේ…මොකද පුද්ගලයාගේ ඥාති පරපුර මාව අතුරුදන් කරාවි දැන ගත්තොත්..පොර ජොලියට බොරු කියනවා….හැබැයි කතාව ඉවර වෙනකන්ම අහන අය දන්නෙ නෑ ඒ බොරුවක්ය කියලා….මම ඉපදෙනකොට මේ කියන කෙනා මියපරලොව ගොහින්…ඇහින් දැකලා කනින් අහලා වගේ කියන්න ගත්තට මේවත් මම අපේ අප්පච්චිගෙන් අහලා දැන ගත්ත ජොලි කතන්දරයක් තමයි . කතා නායකයාගේ නම නොකියා අපි අන්වර්ථ නමක් කියමුකෝ…එයා ජේමිස් සීයා…ගමේ හිටිය හිනා උල්පත…ඕනම බොරුවක් ඇත්ත වගේම කියනවා…ඒත් කවදාවත් ඒ එයාගේ වාසියට නෙවෙයි…එකම පරමාර්ථය මිනිසුන් සිනා ගැන්වීමම පමණයි…..මිනිස්සු කතා අහලා බඩ අල්ලන් හිනා වුනත් ජේමිස් සීයා ඒවා කියනකොට කවදාවත් හිනානම් වෙන්නෙ නැතිලු…කතාව කියලා එයා යනවා…කට්ටිය මතක් කර කර හිනා වෙනවා…..කතා මහ ගොඩක් තිබුනත් අදට එකයි….ඉස්සරහට ඉතුරුවා….හරිනේ… හැබැයි ඕන් කතාව අහලා මට බනිනවා හෙම නෙවෙයි ඕන් ….මතක තියා ගන්න සීයා මැරිලා බොහොම කල්..ok”’ඔන්න ඉතින් ඒ ටික බොරු නෙවෙයි ළමයි…..දැනුයි පටන් ගන්නේ….

ඔන්න දවසක්දා ජේමිස් සීයා දඩයමේ යනවා…නෑ නෑ නිකම්ම නිකං අත්දෙක වන වනා නෙවෙයි ළමයි…තුවක්කුවකුත් ඇන්න කමා  යන්නෙ…දවස පුරාම කැලේ ඇවිදලා පොරට මහන්සියි..එක එක සත්තු හමු වුනත් දඩයම් කරගන්න නම් බැරි වුනා…ඉතිං තවත් ටිකක් නකොට මෙන්න බොලේ ගල් දෙබොක්කාවක් (ගල් ගුහාවක් වැනි ස්ථානයක්,දෙපස ගල් බිත්ති ලෙස සැකසුනු තැනක්)ඇතුලේ වල් ඌරෝ රංචුවක්ම…ඉතිං ආයෙ මොන කතාද..සීයාට හරිම සතුටුලු උන්ව දැක්කම..

ඔන්න මෙතන ඉදන් සීයගේ වචනෙන්මයි කියන්නේ හරානේ…

ඔන්න ඉතිං මලේ …(කතාව කිවුවේ අපේ මාමාට)ඌරු රෑන දැකලා මට සන්තෝසෙ බැරුවා..මලයට කියන්න එකෙක් දෙන්නෙක් හෙම නෙවෙයි..ඌරො තිස් දෙකක්..ඕන්න…ඒත් මලේ වැඩක් නෑ…මගේ තුවක්කුවේ තිබුනේ එකෝමෙක පතුරමක් ‍විතරයි..ඉතිං මොකෑ කොරන්නේ ..මම හිතලා හිතලා ගත්තා තුවක්කුව අතට.වෙඩි තිවුවා ගල් දෙබොක්කාවේ එක ගල් බිත්තියකට…මල්ලිට කියන්න මල්ලියේ………ගලේ වැදුනු උණ්ඩේ අනෙක් පැත්තටයි මේ පැත්තටටයි විසි වෙවී ගිහින් ඌරො තිස් දෙකම මැරිලා වැටුනා නෙව ඕං…..ඌරො මැරිලා ඉවර වුනාම මම කලේ උණ්ඩෙ එන දිහාට තුවක්කු කට දික්කල එක විතරයි…උණ්ඩෙ ඇවිත්තුවක්කුව ඇතුලට ගියා ආයෙම….මම ඌරො රෑනත් මල්ලක දමාන හැතැප්ම 16ක්ම පයින්ම ගෑටුවා නෙව පැල්කොටේට….හහ්…හහ්…හා……අද කාලෙ කොල්ලන්ට කෝ ඒ වගේ මොළයක්….ඒ වගේ හයි හත්තියක්…..

රාජකාරි ………….

රාජකාරි සහ දේව කාරි බ්ලොග් ලිවිල්ල  ලොක්ක වගේ පටන් ගත්තට කෝ දෙයියනේ ලියන්න වෙලාවක්..? මේ දවස්වල අධික රාජකාරි හේතුවෙන් බ්ලොග් එක පැත්ත පලාතටවත් එන්න වෙලාවක් නැතිවුනා…කොහොමත් රාජකාරිය දේවකාරියටත් වඩා වැදගත්ලුනේ…බලමු වැඩ ඉවර කරලාම ලියන්න පටන් ගන්න…එහෙම කාලයක්ඒවිද මන්දා…………………………

ඔබ අසල මට නොමැත තනියක්……

පිපුණු නෑඹුල් මලක් අසලක

දැනෙන පිවිතුරු නැවුම් හැගුමක්

හදවතේ ගැඹුරටම කිමිදෙයි

ඔබේ සෙවනේ ගෙවෙන මොහොතක….

 

පියෙකු අසලක වගේ සතුටින්

සිටිමි දැරියක විලස සතුටින්

එවන් රැකවරණයක් සුවයක්

දැනෙනුයේ ඔබ අසල පමණකි…….

 

විරාගික නිල් නෙතු දිහාවම

වශීකෘත වී බලා ඉමි මම

ලොවේ මා දුටු සොදුරු පින්බර

දෑස ඇත්තේ ඔබට පමණකි….

 

මහත් බැතියෙන් ඔබ ළගම ඉමි

අචල විශ්වාසයෙන් රැදෙනෙමි

රහල් පුතු මෙන් පිය‍ාණෙනි මං

සතුට ඉල්ලා පසුපසින් එමි….

 

දුටුමතින් හදවත සිසිල් වන

නෙතේ දිදුලන මහා  සැනසුම

මටත් දෙනු මැන මටත් දෙනු මැන

කිය කියා ඔබ පසුපසින් එමි……

 

තනිව උපනා ලොවේ එලෙසම

තනිව හිදිනෙමි තනිව යන්නට

මහා තනියක් දැනෙන ලෝකේ

ඔබ ළගදි මා තනි නොවෙන්නෙමි…..

 

මා දුගී සිත දොවා ගලනා

ඔබේ සදහම් අමා ගගුලෙහි

සතුට සැනසුම නිවුනු ලෝකය

සොය සොයා සදහට සරන්නෙමි…….

 

සොයා දෙනවද…..?

මේක ගොඩක් පරණ සින්දුවක්……පද  දෙකයි යන්තමට මතක…නෙට් එකේ රවුමක් ගහලා හොයා ගන්න ට්‍රයි කලත් බැරි වුනා..කවුරු හරි මේ සින්දුවේ ඉතිරි ටික දන්නවනම් සොයා දෙනවද? plz…………………………….z ගායකයා සිරි අයියා වගෙයි මතක……..

බොහෝම ඉස්සර කාලෙක ගමයෙක් හිටියා….

කොයි කවුරුත් ඔහුට ගමේ කියන්නෙ පැටියා….

පැතුම් මල්……………

උදෑසන සුමුදු මුදු සුළංරැළ

සමග මුසු වී එතී හමා එන

මුදු සමන් පිච්චමල් සුගන්දෙන්

වෙලී සොයනෙමි ඔබේ සුවද මම…………….

සුගන්ධිත උදා පින්නෙන් තෙමී

සිනාසෙන සොදුරුතම නාමලක ද

යාබර ඔබේ වත මෙසේ යැයි

පිවිතුරුම රූපයක් දකිමි මම……..

කිසිදිනක තව නොදුටු ඔබේ රුව

මවාගෙන හදවතේ රුවාගෙන

ඔබෙ සුරතෙ එල්ලෙමින් සිනාසෙන

බොළදියක වෙන්න පාරමී පුරමි………..

දික්කසාදය………..?

සෙනෙහසින් ඉගිමැරූ දෙනෙත් මත

කිමද අද වෛරයේ රුදුරු ගිනි

සත්තමයි ආත්මෙන් ආත්මෙට

ඔබවමයි පැතුවෙ මගෙ ලෝකයට…..

ආදරෙයි සදාකල් මං නුඹට…

ඔබට කැප වූ මගේ ගතද සිත

වෙනකෙකුට පිදූ බව කියන්නට

වෙහෙස වෙන නීති මුදලාලිලා

දන්නෙ කොහොමද අපේ සෙනේහය….

මං නුඹට පෙම් කෙරූ විලාසය…

ළයෙහි හිස හොවා මා සැනසවූ

වදන්වැල් අමුතු වී වියරු වී

විනිසුරන් ඉදිරියෙහි ඇද හැලෙනු

අසා ඉමි අසිහියෙන්…..

ඔබෙ සුවද එවේලෙත් මං ළගය….

ඇය වෙතට ඇදී ගිය ඔබේ සිත

තවත් රදවා ගන්න ඇවැසි නැත

ඔබට සතුටක් සුවක් දැනේනම්

මගේ පෙම ඒ නමින් පුදන්නෙමි…

දුක දරා මං තනිව හිදින්නෙමි…..

වෙන්න ඔබ මට…..

ඔබ පියෙක් වෙන්න මට..

කරුණාව වෑස්සෙන නෙතින් බලා

මා සනසවන – මට ඔවා දෙන..

සෙනෙහසින් හිස සිඹින…

සොහොයුරෙක් වෙන්න මට..

ලෙංගතුව මා වට‍ා දැවටෙන ..

සරාගී නෙතුවල්න් සගවාන.

මලක් මෙන් මා රකින……

දයාබර මිතුරෙකුව ඉන්න ඔබ…

එක්ව හිනැහෙන හඩන…

වැටෙන්නට යන මෙමට

දෝත දෙන….

සෙනෙහෙබර  පෙම්වතෙක් වෙන්න මට…

දග දෑස් කොනින් ඉගිකර ..

පිවිතුරුව සිනාසෙන…

බෝසත් පෙමක් මට දෙන…..

සාරධර්ම…….?

හ්ම්……..කාලෙකින් ලියන්නබැරි වුනා………..හුග දවසකට පස්සේ ලියන්න හිතුනේ උදේ පාන්දරම සිද්ද වෙච්ච හිත රිදෙන සිද්ධියක් නිසයි….. අදත් හැමදාම වගේ උදේ පාන්දරම අවදි වෙලා ලහි ලහියේම ලෑස්තිවෙලා හරියට කවුරු හරි පස්සෙන් එලවගෙන එනව වගේ හදිසියට පාරට දුවං ආවෙ සුපුරුදු පරිදි සේවා ස්ථානයට එන්න….

දිවුවෙ අපරාදෙ කියලා හිත හිත පාරට වෙලා හති අරිද්දි මෙන්න බොලේ බස්එක එනවා…BUS HALT එකේ හිටපු අනෙක් හතරපස් දෙනාත් එක්ක  ඔන්න මමත් බස්එකට ගොඩ වුනා….බස් එක සුපුරුදු පරිදි මගීන්ගෙන් පිරීගොහින් .මං හිතන්නේ වෙනදටත් වඩා…මොකද අද බස් එකෙන් බාගයක් ව්තරම පාසල් දරුවන්..ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක 10,11 වසරවල ළමයින්…ඔවුන්ගේ ගුරුවරියක්ද ඔවුන් සමග බස්රථයේ සිටියා….මම හිතුවේ මේ දවස්වල ක්‍රීඩා කටයුතු හෙම බොහොම තියන නිසා ඒවට සහභාගීවීමට යන දරුවො වෙන්න ඇති කියලයි…

මමත් වවුල් න්‍යායෙන් බස්එකේ හිටගෙන..මා ළගම ආසනයේ පාසල් සිසුවියක් වාඩිගෙන සිටියා…ටික දුරක් යන විට වයසක මවක් බසයට ගොඩ වුනා…අසරණ පෙනුමැති තැනැත්තියක්..බොහෝම බයාදු පෙනුමක් තිබූ ඇය රෝගීව සිටිබව පෙනෙන්නට තිබුනා…ඇයත් මා අසලින්ම සිට ගත්තා… ඇයට සිටගෙන සිටීමේ අපහසුතාවය පෙනෙන්නටම තිබුණා..එහෙත්..ඒ අසල වාඩිගෙන සිටි පාසල් වයසේ යුවතිය අර අසරණ මව නොදුටු ලෙසින්ම සිටියා… පාසල් යුවතියට අර මවට ආසනය දෙන ලෙස කීමට දෙතුන් වරක්ම සිතුනත් කරුණු කීපයක් මගේ ඒ අදහස වැලැක්වූවා…ඇයත් සමග ඇයගේ ගුරුතුමියක්ද සිටීම.මා ඇයට එසේ කීමෙන් ගුරුවරිය අපහසුතාවයට පත්වේයැයි සිතීම..ඒ කරුණු…

අසරණ රෝගී මව දිගටම බසයේ හිටගෙන…මේ දර්ශනය මගේ හිත කැළඹුවත් අනෙක් මගීන්ගේ අවධානයට ලක් නොවුනා වගෙයි.එසේ විය හැකියි..බසයේ මගීන් වැඩියි..ඒ වගේම සිද්ධිය වුනේත් මා අසලම…සිද්ධියේ ඊළග දර්ශනය ඊට වඩා දුක හිතෙන්නක්.බසය ඉදිරියට ඇදෙද්දී ඊළග නැවතුමෙන් බසයට නැගුනේ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ටියුෂන් ගුරුභවතෙක්..ඉතාම තරුණ සිනාමුසු ප්‍රියමනාප පුද්ගලයෙක්.. ඔහු බසයට නැගුණා පමණයි මා අසල සිටි පාසල් යුවත්ය ආසනයෙන් නැගී සිටියා …ගුරුභවතාට අසුන් ගන්නා ලෙස ඇරයුම්කලා….වටපිට බැලූ ගුරුභවතා කාරුණිකව ඇගේ ඉල්ලීම ප්‍රතිකේෂ්ප කලා…ඔහුද අර මව මෙන් බසයේ හිටගෙන ගියා….පුදුමය ඒක නෙවෙයි….අර යුවතිය නැවතත් එම ආසනයේම අසුන්ගෙන සුපුරුදු පරිදි කවුළුවෙන් ඉවත බලා ගත් එකයි…

ඊළග නැවතුමෙන් මා සේවා ස්ථානය අසලින් බැසආවේ මොකක්දෝ කියාගන්න බැරි දුකකුත් හිතේ පුරෝගෙන…පාසලේදී එදා දරුවන්ට ඉගැන්වූ දයාව,කරුණාව වැඩිහිටියන්ට සැලකීම පිළිබද පාඩම් දැන් පාසල්වල උගන්වන්නේ නැද්ද? එසේ නොවන්නේ නම් අපේ රටේ මතුපරපුරේ ආත්මීය පිරිහීමක පෙරළකුණු අද උදෑසන මට දකින්නට ලැබුනාද?….තාමත් මං හිතනවා….හිතට දුක දැනුනේ ඇය පාසැල් සිසුවියක් වීම ගැනයි….

ඔබම වෙනුවෙන්……….

තරිදු ඔබ නම් අහස දිදුලන

ළංව හිනැහෙන තරු කැකුල වෙමි

ඔබේ සිහිලැල් කිරණෙ රැදෙමින්

සදා ඔබ හට තනි රකින්නෙමි……….

නදිය ඔබ නම් ගලා බස්නා

ඉවුර වී මා ළගින් ඉන්නෙමි

ඔබෙ සිහිල් දියදහරෙ වෙලෙමින්

සේදි සේදී ඔබට එක්වෙමි………..

පැතුම් ඔබ හද පිරවෙනා කල

පියුම වී දෝතෙහි පිපෙන්නෙමි

ඔබේ පැතුමන් ඉටු කරන්නට

බුදුන් පාමුල පිදී පරවෙමි………..

අළු දෑස තුල දුක පිරෙනදා

සිනාවක් වී මුව රැදෙන්නෙමි

ඔබේ කදුළුත් නෙතට අරගෙන

දෑස දියවෙන තුරු හඩන්නෙමි………….

විසල් සෙනෙහස් ගග සිදුන දා

මගේ සතුටද ඔබට දන්දෙමි

බලා එකමෙක වරක් ඔය මුව

ඔබම වෙනුවෙන් මිය ඇදෙන්නෙමි……….

කාර්යාලයේ වැඩ අඩු දවසක් අද…….ටිකා….ක් විතර කම්මැලියි……..ඒ නිසා ඔන්න මගේ නිර්මාණයක් එක් කලා……..

සුභ දවසක් හැමෝටම……..

මම ශ්‍රියාණී.ශ්‍රියාණී සේනාධීර.ගොඩක් වැඩ අස්සෙ ටිකක් ලියන්නයි අදහස.මගේ ගම  ලස්සන ගමක් .වාසනාවට රැකියාවත් ලැබුණේ ගමටමයි. ඉතිං ගොඩක් සතුටින් රැකියාව කරගෙන ඉන්නවා.රාජ්‍ය සේවයේ මහජනතාවට ඉතාම සමීප කාර්යාලයක සේවය කරන්න ලැබීම නිසා ලැබෙන අත්දැකීම් නම් බොහෝමයි.සමහර ඒවා සුන්දරයි.සමහරක් නම් දුක්බරයි. බලාපොරොත්තුව ඒ අත්දැකීම් ඔයාලත් එක්ක බෙදාහදා ගන්නයි.

මම මේ බ්ලොග් කෙෂ්ත්‍රයට නම් අළුත්.ඒ හින්දා ලියද්දි ගොඩක් අඩුපාඩු නම් තියේවී.ඒවා නිවැරදි කරගන්න හැමෝම මට උදව් කරයි කියලා බලාපොරොත්තු වෙනවා.බ්ලොග් එකක් අරඹන්න උදව් කරපු කාර්යාල මිතුරන්ටත් ස්තූති කරන්න මේක අවස්ථාවක් කර ගන්නවා……….එහෙනම්……..,එන්න…සොදුරු සිත්මල්යායේ සැරිසරන්න………!

Follow

Get every new post delivered to your Inbox.